Monday 20 March 2017

අතීතය සිහිපත්ව...1997 නොවැම්බර් 13 වෙනුවෙනි.


දකුණු ලක රෝහනයෙ පුරවර ජනිත බූමිය උරුම කෙරුනා
වමට බරවුනු පියෙකු සමගින් ළමාවිය සෙනෙහසින් ගෙවුනා
සිප් සතර දැන උගත්කම දෙක රිදී රේඛා විලස දිලුනා
සෝවියට් රතු දේශයේ ඉගෙනුමට වරමක් ඔබට ලැබුනා

සමාජයෙ පරතරය ඇති නැති රට පුරා දොම්නසකි තිබුනේ
වෙදකමක් ඉගෙනුමට ගිය ඔබ දේශපාලන මගට හැරුනේ
චීන රුසියන් බේදයක් දැක පැය අටක් එහි කතා කෙරුනේ
නිවාඩුව අවසන්ව රුසියන් රටට යන්නට නොමැත ලැබුනේ

"ශන්ගෙ" කෝපයට බැඳි මවු දේශයට සේවය කරනු සිතුවා
සියලු දනහට එකසෙ සලකන රටක් බිහිවන පැතුම පැතුවා
තරුණ සංගම් තුලට ගොනුවන තරුණ සිත් ජීවයක එතුවා
මිනිස්කම අගයනා සගයන් දම්වැලක්සේ එකට ගෙතුවා

නීතියයි සධාරණය යුක්තියයි ගරුකොට තිබිය යුත්තේ
නමුත් මේවා ගිලිහිලා යන අයුරු කිසිවෙකු නැහැනෙ දැක්කේ
හැටදෙකේ කුකුසක් වුනා මොළකාරයින්ගේ ඇතුලු චිත්තේ
එදා "දොස්තර තිස්ස" විලසින් සිටියෙ ඔබ නිවැරදිවු පැත්තේ


නොයෙක්විද හැල හැපුම් සමගින් මත ගැටුම් පෙරමුනට වූවා
හිඩැස්සක් මවුබිමට ඇතිබව අදහසක් හදවතට ආවා
සත්දෙනෙක් සොහොයුරන් එක්කර හරබරව නෙක කරුනු කීවා
විපලවී දේස්පාලනේ මහ පලමු පියවර පෙරට දෑවා


අනන්ත්වු පීඩා විඳින පොදු දනන් ගැන සිත කීරි ගැහුනා
ගොවි පුතෙකුසේ වෙස් වලාගෙන අනගි මෙහෙවර යසට කෙරුනා
"ජූල්ගමුවේ" සිටින බව ඔබ රාවයක් කට කතා ගෙතුනා
දුප්පතුන්ගේ නියමුවෙකුහට මාංචු දම්වැල් අතට වැටුනා


ජ. වි. පෙ නම් සංවිධානයකින් රටපුරා පත්‍රිකා ඇලවුනි
තරුණ හදවත් කෝපවී ගිණි පුලිඟු මෙන් හැමතැනම දැල්වුනි
නැවත "අම්පාරෙදි" යනෙන විට නීතියේ රැහැනකට හසුවුනි
මවුබිමද මරණයද අසමින් තරුණ මහ හෙන හඬක් පිපුරුනි


මවුබිමේ දේසපාලනය උඩු යටිකුරුව ගිය බවක් තිබුනේ
හැත්තැ එක මහ කැරැල්ලක් පැන නැගී දෙදරුණි මෙලක දෙරනේ
තරුණ ජීවිත දහස් ගනනක් පොලෝ ගැබ තුල නිදන් කෙරුනේ
අදත් මේ ගිණියම්ව යන පැන දෙසට කිසිවෙකු නැහැනෙ හැරුනේ


අ.යු.වි කොමිසම මගින් ඔබ දඟ ගෙයක් තුල සිර කරනු ලැබුවා
මහරැජිණගේ ආණ්ඩුව පෙරලුවයි නිතිය පෙරට දැමුවා
දුප්පතුන්ගේ නියමුවා වෙත ධනය ඇති අය රවා බැලුවා
හදවතක් ඇතියවුන් සිත් තුල ඔබේ පිලිරුව රනින් නෙලුවා


හැත්තෑ හත වෙනවස් වෙලා රට තවත් දෙසකට ගලා ආවේ
දමිටු යුගයක් කියා ඔබ දඟ ගෙයින් මිදිලා පෙරට ආවේ
අසූවේදී යුග දිවිය ගෙවමින් දියණියක මදහසක් පෑවේ
නමුදු "කලු ජූලියක්" ඇවිදින් දෛවයට සරදමක් පෑවේ


අසූඅට මහ විශාලාවක් වෙලා තැන තැන තිබුනි බලි බිලි
දෑඅස් කන් නාසා නොමැති ලක් ලක් දූ පුතුන් සිපගති පොලෝ වැලි
මරණයේ දේශයක් ඇතිවිය ගොරබිමේ වෙඩි හඬය ගිණි ගුලි
සැබෑ මිනිසෙකු සැබෑ මිතුරෙකු සැබෑ සොහොයුරෙකු නොදුටුවෙමු යලි


කෙසේ ඔබ දිවි හැර ගියාදැයි තවම සැකයකි අප නොදන්නා
අපේ හදවත් වලට ලංවී එදා ඔබ අප අතර උන්නා
සදා ආදරණීය සොහොයුර මිතුර හරිදේ හොඳට දන්නා
අතක් ඔසවා නැවත එනුමැන එදාමෙන් හසරැල්ල පෙන්නා


--ලිලානි අබේදීර ජයසේන--

තිසාහාමි මුත්තණුවනි ඔබහට ආයුබෝවන්...

සිසාරා වනපෙතට ඉහලින් පෑයු පුන්සඳ වාසනාවන්
වසා ජීවන ඉදි කඩොලු දොර සැතපුනිද වන සිහරදානන්
දිසාලා දීහත්ත කුවේණී පරපුරේ මී මුණුබුරාණන්
තිසාහාමී මුත්තණුවනී ඉතින් ඔබහට ආයුබෝවන්

මහවන බුටෑවක ඉපිද ඒ සමග ජීවත් වෙමින් සතා සීපාවුන් වෙත සතුරු මිතුරු දම් වැඩූ සොබාදහමට මහත්සේ ඇලුම්පෑ මහා වනස්පතිදාණනි, දඹානේ ඔබේ වර්ගයාගේ නොකිලිටි වූ අවසන් මහා පුරුෂයාණන් වූයේ ඔබමය.


--ලිලානි අබේදීර ජයසේන--

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අභාවය වෙනුවෙනි...

මහමැතිවරණයේ මාරුත පැතිර යයි රට සියලු පැත්තේ
ලොවේ පලවෙනි අගමැතිණි වී සදා නොමැකෙන නමකි ගත්තේ
දේශයේ අභිමාන ගමනට විරාමය අද තබා ඇත්තේ
සුභ ගමන් මැතිණියෙනි සිරිමා ඩයස් මහවල තැන්න වත්තේ


--ලිලානි අබේදීර ජයසේන--





ස්වර්ගස්ත වී වදාලවූ ගරු මර්සිලින් ජයකොඩි පියතුමා වෙනුවෙනි...

ස්වර්ගස්ත වී වදාලවූ ගරු මර්සිලින් ජයකොඩි පියතුමාගේ දේහය අසල තැබූ සමරු පොතේ මා තැබූ සටහනකි මේ..


සාහිත කිරුල දැරු මහ රසවතා ණෙනි
නැණ ගුණ සුවඳ විහිදූ ගුණවතා ණෙනි
දිවි සියවස එකලුකල දිනිසුරා ණෙනි
අවසර මර්සිලින් ජයකොඩි පියා ණෙනි

අමරණීය මරණයෙන් අනබිභවනීයවූ මහා පුරුෂයෙක් අද මෙහි සැතපේ.


--ලිලානි අබේදීර ජයසේන--

මාපලගම විපුලසාර හිමියන්ගේ අපවත්වීම නිමිත්තෙනි...

සිත්තමක තෙලිතුඩෙහි අරුමය භාවනාවක් සිතේ රන්දා
දහම සමගින් කලාවද ගෙන නිරාමිස ගැන රසය වින්දා
හෙලබිමේ සරු කලා කෙත තුල මහා පෙලහර පෑව හින්දා
"විපුල්සර" සමිඳුගේ අපවත් විම කෙලෙසක සිතනු මන්දා


--ලිලානි අබේදීර ජයසේන--

මාලනී බුලත්සිංහලගේ හදිසි වියෝව නිසාවෙනි...

කලා ලොව ගී කිරුල පැලඳූ කිකිණි සර අප කනට ලන්කල

වේදනාවේ කඳුල දුටුතැන පසු නොබා තම දෑත් දිගුකල
දුක් විඳින දන හද ගැහෙන රාවයට මිහිරැති හඬක් එක්කල
කෙවිලියක් නොවු සැබෑ ගැහැණිය ඔබයි මාලනි බුලත්සිංහල


--ලිලානි අබේදීර ජයසේන--

මැග්සයිසේ සම්මානයෙන් පිදුම් ලද අමරදේවයන්ට...

උතුරු භාරත රාගධාරී ගීතයේ මියැසියට බැඳ ලොබ

රවිඳුනත් තාගෝර් උතුමන් සෙවන යට සරසවි වරම් ලැබ
ගීතයෙන් මුලු ජාතියම ඒකාලෝක කල මහ පහන් ටැඹ
ගාන්ධර්වයාණනි අමරදෙව් විශ්වයේ පන්සිලුය මට ඔබ


--ලිලානි අබේදීර ජයසේන--

2001.09.09